Wednesday, 18 February 2015

ජලාශ්‍රිත ශිෂ්ඨාචාරයේ ආර්ථිකය

  • කෘෂිකර්මය
වී වගාව ප්‍රධාන විය. වසරකට කන්න 2ක් හෝ 3ක් වී වගා කෙරිණි. සිරිමේඝවණ්න රජුගේ කාලයේ කන්න 3ක් වගා කල බව තෝනිගල සෙල්ලිපියේ සදහන් වේ. වැව් ජලය වී වගාව සදහා යොදා ගැනිණි. මෙහිදී ශ්‍රමය අත්තම් ක්‍රමයට අනුව ලබාගෙන ඇත. මීට අමතරව අබ, මෙනේරි, මුං, තල, මෑ, උක්, කපු, අඹ හා පොල් වගා කෙරිණි. හේන් ගොවිතැනද ක්‍රියාත්මක විය. ඇල්වී, උදු, මුං ආදී ධාන්‍යද බටු, කැකිරි, පුහුල් ආදී එලවලුද මෙකල වගා කෙරිණි. කපු හා උක් වගාවද කෙරුණු අතර කොස් හා පොල් වැවූ වතුද විය. කදුකර ප්‍රදේශවල කහ, ඉගුරු, ගම්මිරිස් වගා කර ඇත.
  • කර්මාන්ත
ගොවිතැන් කටයුතු හා සම්බන්ධ කර්මාන්ත රැසක් විය. වඩු කර්මාන්තය හා ලෝහ කර්මාන්තය එකල පැවතිණි. නගුල, පෝරුව ආදී උපකරණ සෑදීම වඩු කර්මාන්තය යටතේ නිෂ්පාදනය විය. බුදු පිලිම, දේව රූප, පහන් ආදිය ලෝහ කර්මාන්තය යටතේ නිපැදිවිණි. පේෂ කර්මාන්තය හා කුඹල් කර්මාන්තයද ඉතා දියුණු මට්ටමක විය. උක් කර්මාන්තය, ගෘහ නිර්මාණ ශිල්පය හා මැණික් හා පතල් යන කර්මාන්තද එකල විය. තවද මෙකල විවිධ ශ්‍රේණි අනුව සංවිධානය වූ කර්මාන්ත විය. ඉතා උසස් නිර්මාණ රජු අගය කල අතර ඔවුන්ට රජු විසින් ඉහල සැලකිලි දක්වන ලදි.
  • වෙළදාම
මෙකල වෙළදාම දේශීය වෙළදාම හා විදේශීය වෙළදාම ලෙස කොටස් 2කින් හදුනාගත හැකිය.
දේශීය වෙලදාම
භාණ්ඩ හුවමාරුව මත පදනම් වූ වෙළදාමක් රට තුල ක්‍රියාත්මක විය. රට අභ්‍යන්තරයේ වෙළදපොල පදිය නම් විය. කාසි හා මසුරන් ආදියද වෙළදාමට භාවිතා කර ඇත. වෙළදපල පාලකයන් පදිලද්දන් ලෙස හැදින්වුණු අතර වෙළද නගර, වෙළද වීදි හා සල්පිල් කඩපිල්ද විය. මෙහිදී ලුණු, ඉගුරු, කුළු බඩු, රෙදි පිලි ආදිය වැදගත් විය. භාණ්ඩ රැගෙන පිටිසර පලාත්වල අලෙවිකරණ වෙලෙන්දෝද විය. මෙකල වෙළද සංගම් ආදියද පැවතිණි. බදු පැනවීම හා අයථා කටයුතු ආදියසොයා බැලීම රජු යටතේ ක්‍රියාත්මක විය. ලුණු, මුතු, මැණික්, ඇතුන් ආදිය පිලිබද ඒකාධිකාරය රජුට හිමිවිය. බඹරගස්තලාව, බදුලු ටැම් ලිපි එකල වෙළදාම පිලිබද තොරතුරු සපයන ප්‍රධාන මූලාශ්‍රයන්‍ය.
විදේශීය වෙළදාම
ගංගා මුහුදට වැටෙන තොටුපල අසල වෙළද වරාය දියුණුව පැවතිණි. ඒවා පටුන්ගම් ලෙස හැදින්විණි. මහාතිත්ථ, සූකරතිත්ථ, ජම්බුකෝලතිත්ථ වැනි පටුන්ගම් ඒවාට උදාහරණයන්‍ය. මේවායින් විදේශීය කාසි,චීන පිගන් භාණ්ඩ ආදිය හමුවී ඇත. මෙකල අපනයනය කල භාණ්ඩ අතර ඇත්දත්, අලි, මුතු මැණික්, සක් බෙල්ලන්, කපු පිලි ආදිය ප්‍රධාන වේ. රන්, රිදී, තඹ, ලෝකඩ, වීදුරු, පබලු, පිගන් භාණ්ඩ උසස් රෙදි පිලි, අශ්වයන්  ආදිය ආනයනය කර කර ඇත. ප්‍රධාන වශයෙන් ග්‍රීසිය, රෝමය, චීනය, අරාබිය වැනි රටවල් සමග ගණුදෙනු කර ඇත. පොලොන්නරු යුගයේදී විදේශීය වෙළදාම ඉතාමත් දියුණු විය.