Saturday, 28 November 2015

1797-1798 ඉංග්‍රිසී විරෝධී පළමු කැරැල්ල

ඉංග්‍රීසී පෙරදිග ඉන්දීයා වෙළද සමාගම




1796 දී ශ්‍රී ලංකාව ඉංග්‍රීසීන් යටතට පත් වූ අතර එම කාර්යය සදහා ඉංග්‍රීසී පෙරදිග ඉන්දීයා වෙළද සමාගම අතිවිශාල මුදල් ප්‍රමාණයක් වැය කරන ලදී. මේ සදහා හේතු වුයේ ලන්දේසීන්ද ඉතා ප්‍රබල ජාතියක් වූ බැවින් ඔවුන් පළවා හැරීමට යුද නැව්, ආයුධ හා යුද සෙබළු විශාල වශයෙන් යොදා ගැනීමට සිදු වීමයි.
මේ යුද වියදම ඉංග්‍රිසී පෙරදිග ඉන්දීයා වෙළද සමාගමට කිසිසේත්ම දරා ගැනීමට නොහැකි වූ කාරණයක් විය. මේ නිසා ඔවුන් එම යුද වියදම පියවා ගෙන හැකි තාක් ලාභ ලබා ගැනීමට පියවර සකස් කරන ලදි. තවද ඒ වන විට යුරෝපයේ පැවති තත්වය අනුව ලංකාව ආපසු ලන්දේසීන්ට භාර දීමට සිදුවේ යැයි බියක්ද ඉංග්‍රීසී පෙරදිග ඉන්දීයා වෙළද සමාගම සතුව තිබුණි. මේ නිසා ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වූයේ හැකි ඉක්මනින් ලංකාව හරහා ලාභ ලබා ගැනීමට කටයුතු කිරීමයි.
එවකට ලංකාවේ බදු එකතු කිරීම සිදු කළේ දේශීය නිළධාරීන් විසිනි. එමගින් තමන්ට පාඩුවක් වේ යැයි සිතූ ඉංග්‍රිසින් ඒ සදහා අවුමිල්දාර්වරු නම් ඉන්දීය නිළධාරීන් පත් කළහ. මේ කාලය වන විට ලංකාවේ මුහුදුබඩ පළාත්වල ක්රියාත්මක වූයේ බදු වශයෙන් තමන් ලැබූ අස්වැන්නෙන් කොටසක් ගෙවීමේ ක්රමවේදයයි. මෙය ඉංග්‍රිසින් කිසිසේත්ම අනුමත නොකල අතර ඒ සදහා ඔවුන් මුදලින් බදු ගෙවන ක්‍රමයක් ආරම්භ කළහ. මෙකල ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල පොල් වගාව විශාල ලෙස ව්‍යාප්තව පැවති අතර පොල් ගස් දහසකට වැඩි අයිතිකරුවන්ද රැසක් විය. ඔවුන් එමගින් විශාල අස්වැන්නක්ද ලැබීය. මේ හේතුවෙන් ඉංග්‍රීසීන් පොල් ගස් දහසකට වැඩි අයිතිකරුවන් සදහා නව පොල් ගස් බද්දක්ද පැනවීය.
ඉංග්‍රීසී පෙරදිග ඉන්දියා වෙළද සමාගමේ මෙම ක්‍රියාකලාපය මුහුදුබඩ ජනතාවගේ දැඩි අප්‍රසාදයට මෙන්ම දැඩි කෝපයටත් හේතු විය. ඉන්දීය බදු එකතු කරන්නන් ලංකාවේ භාෂාව, සංස්කෘතිය හා සිරිත් විරිත් නොසලකා කටයුතු කල අතර එය ජනතා කෝපය දෙගුණ තෙගුණ කළේය. නව පොල් ගස් බද්ද අනුව ජනතාවට පාළු ගස් වලටද බදු ගෙවීමට සිදු වීම ඉතා ඛේදනීය තත්වයක් විය. මෙහිදී ජනතාවට එල්ල වු විශාලතම හිසරදය වූයේ මුදලින් බද්දක් ගෙවීමට නියම කිරීමයි. එවකට මුදලින් බදු ගෙවීමේ ක්‍රමයක් ජනතාව අත්විද තිබුනේ නැත.
මේ අසාධාරණය හේතු කොටගෙන මුහුදුබඩ ජනතාව එක්රැස් විය. ඔවුන් ඉංග්‍රීසී පෙරදිග ඉන්දීයා වෙළද සමාගමට එරෙහිව දැවැන්ත සටනක් ආරම්භ කළහ. මේ සදහා ඔවුන්ට බලතල අහිමි ලන්දේසී නිළධාරීන්ගේද සහාය ලැබුණි.කැරැල්ල සදහා නිශ්චිත සැලැස්මක් හෝ අරමුණක් හෝ නොමැති වූ බැවින් තුවක්කුවල සවිය යොදවා එය පාලනය කිරීමට ඉංග්‍රීසීන් සමත් විය. එබැවින් කැරැල්ල අසාර්ථක විය.
මේ සිද්ධිය ඉංග්‍රීසි මහ රැජිනගේ අවධානයට යොමු විය .එබැවින් මෙම සිද්ධිය සොයා බැලීම සදහා එංගලන්තයේ ද මියුරන් නැමැති පුද්ගලයා යටතේ කොමිසමක් ලංකාවට පැමිණියේය. ඔවුන් එහිදී ඉංග්‍රීසි පෙරදිග ඉන්දිය වෙළද සමාගමේ ක්‍රියා කලාපය දැඩි අසාධාරණ බව තීරණය කළේ ය. තවද වඩා හොද සිවිල් පාලනයක් සදහා ඉංග්‍රීසි ආණ්ඩුව මැදිහත් විය යුතු බව තීරණය කළේය. ඒ අනුව ලංකාවේ පාලන අයිතිය ඉංග්‍රීසි මහ ආණ්ඩුව වෙත පවරන ලදි. ඒ අනුව ලංකාවේ පාලන කටයුතු සදහා පළමු ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා ලෙස 1798 දී ෆෙඩ්රික් නෝර්ත් පත් කරන ලදී



ෆෙඩ්රික් නෝර්ත් 

Saturday, 28 February 2015

ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල බ්‍රිතාන්‍ය බලය පිහිටුවීම

බ්‍රිතාන්‍යයන් ලංකාවේ බලය පිහිටුවා ගැනීමට හේතු වූ ප්‍රධාන කරුණු 2කි.
  1. ශ්‍රී ලංකාවේ පිහිටීමේ වැදගත්කම
  2. ශ්‍රී ලංකාවේ තිබූ වටිනා වෙළද ද්‍රව්‍ය ලබා ගැනීම.
ශ්‍රී ලංකාවේ ත්‍රීකුණාමලය වැනි වාරායන්වල තිබූ වැදගත්කමත් ඉස්තරම් කුරුදු ඇති රාජ්‍යයක් ලෙස ලබා තිබූ ප්‍රසිද්ධියත් නිසා ඉංග්‍රීසීන්ගේ අවධානය ලංකාව දෙසට යොමු විය.
ප්‍රංශ විප්ලවයෙන් පසු ප්‍රංශය ඕලන්දය ආක්‍රමණය කලේය. එවිට ඕලන්දයේ දෙවන විලියම් කුමරු එංගලන්තයට පලා ගියේය. මින් ප්‍රයෝජන ගත් බ්‍රිතාන්‍යයෝ ලංකාවේ ලන්දේසි පාලන බලය තමන් සතු කරන ලෙස ඕලන්ද රජුගෙන් ලිපියක් ලබා ගත්තේය. එය කිව් ලිපිය නම් වේ.
නමුත් මේ ලිපිය එවකට ලංකාවේ ලන්දේසි ආණ්ඩුකාරයා පිළිගත්තේ නැත. එම නිසා 1795 දී ත්‍රිකූණාමලයට පහරදුන් බ්‍රිතාන්‍යයෝ 1796 වන විට ලන්දේසීන් මෙරටින් පලවා හැරීමට සමත් විය. ඒ අනුව 1796 වන විට ලන්දේසීන් සතුව තිබූ මුහුදුබඩ ප්‍රදේශ සියල්ලම තමන් සතු කර ගැනීමට බ්‍රිතාන්‍යයෝ නොහොත් ඉංග්‍රීසීන් සමත් විය.
පලමුව මෙම ප්‍රදේශ ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළද සමාගම යටතේත් 1798 ඇතිවූ කැරැල්ලෙන් පසු බ්‍රිතාන්‍ය රජය සමග හවුලේත් පාලනය විය.1802 දී ලංකාව එංගලන්ත රජු හා පාර්ලිමේන්තුව යටතේ පාලනය වූ කිරීටයේ යටත් විජිතයක් බවට පත් කෙරිණි.

ලන්දේසීන් යටතේ සමාජ සංස්කෘතික බලපෑම්

  • වෙළදාම දියුණු වීම නිසා ගාල්ල, මාතර, මන්නාරම, පුත්තලම, හලාවත, මඩකලපුව හා කොළඹ නගර සංවර්ධනය විය.
  • ඉහත නගර යා කරමින් දියුණු මාර්ග ඉදි විය.
  • මෙරට සමාජයට බර්ගර් ජනතාව එකතු විය.
  • රෙපරමාදු ආගම මෙරටට හදුන්වා දීම.
  • සිංහල භාෂාවට ඔරලෝසුව, කොකිස්, ඉස්තෝප්පුව වැනි වචන එකතු විය.
  • බටහිර හුරු අධ්‍යාපන හා උසාවි පද්ධතියක් හදුන්වා දීම.
  • රෝම ලන්දේසි නීතිය හදුන්වා දීම.
  • ලන්දේසී ගෘහ නිර්මාණ ශිල්පය, ඇදුම් හා ගෘහ භාණ්ඩ මෙරටට එකතු විය.

ලන්දේසීන් යටතේ ආර්ථික කටයුතු

ලන්දේසීන් මෙරටින් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වූයේ කුරුදු වෙළදාමයි. ඒ සදහා ශ්‍රමය ලබාගැනීමට ඔවුහු මෙරට පැවති රාජකාරි ක්‍රමය යොදා ගත්හ. තවද ඔවුන් මෙහිදී විශේෂ කොට තැකූ තවත් ද්‍රව්‍ය කිහිපයකි.ඒ අතර පුවක්, මුතු මැණික්, ඇත්දළ, ගම්මිරිස්, සාදික්කා, එනසාල්, ඇතුන්, මී ඉටි වැනි ද්‍රව්‍ය ප්‍රධාන විය.
ලන්දේසීන්ගේ ආදායම් ක්‍රම අතර ඉඩම්වලින් අය කළ ආදායමද ඉතා වැදගත් විය. මෙකල විදෙස් රටවලින් විශාල ලෙස ආහාර ආනයනය කෙරිණි. මේ නිසා ඔවුහු දේශීය ආර්ථිකය නගා සිටුවීමටද කටයුතු කලහ.

1707 සිට 1776 කාලය

දෙවන විමලධර්මසූරිය රජුගෙන් පසුව ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ විය. හෙතෙම ඉන්දියාවෙන් පැවත ආ නායක්කර් වංශිකයකු විය. මේ රජු සමයේ ඔහුගේ නෑයන් හා හිත මිතුරන් ලංකාවෙන් මුතු,මැණික්,ඇත් දළ ආදිය රැගෙන ගොස් ඇත. ඒ පිළිබදව ලන්දේසීහු දැඩි විරෝධයක් එල්ල කලේය.
මේ හේතුකොටගෙන ලන්දේසීහු රජුට අයත්ව තිබූ කල්පිටිය, වරාය වසා දැමීය. රජු නැවත වරාය විවෘත කරන ලෙස ඉල්ලුවත් ලන්දේසීහූ එය ප්‍රතික්ෂේප කලහ. මේ නිසා රජු මුහුදුබඩ ප්‍රදේශවල සිටි කුරුදු තලන්නන් උඩරටට ගෙන්වා ගත්තේය. තවද රජු ලන්දේසී පාලන ප්‍රදේශවල කලකෝලාහල ඇති කිරීමටද පියවර ගත්තේය.
මේ අවුල් වියවුල් මැඩලීමට විලෙම් බැරන් ඉම්හොස් ආණ්ඩුකාරවරයා සමත් විය. හෙතෙම උඩරටට දූතයන් යවා රජු සමග නැවත මිත්‍ර විය.
ක්‍රි.ව 1739 දී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගෙන් පසු ඔහුගේ බිරිදගේ සොහොයුරෙකු වූ ශ්‍රී විජය රාජසිංහ රජ විය. හෙතෙම වැලිවිට සරණංකර සාමණේර හිමියන්ගේ උපදෙස් පරිදි බුරුම දේශයෙන් උපසම්පදාව ගෙන්වා ගැනීමට ලන්දේසී සහාය ලබා ගත්තේය. මෙකලද දකුණු ඉන්දියාව සමග දැඩි මිත්‍රත්වයක් උඩරට රජු අනුගමනය කලේය. මේ නිසා තවදුරටත් උඩරටට අයත් වරායන් තමන් යටතේ තබා ගැනීමට ලන්දේසීන් සමත් විය. මේ නිසා රජු ලන්දේසීන්ට උඩරටින් වෙළද ද්‍රව්‍ය ලබා ගැනීම තහනම් කලේය. නමුත් ලන්දේසීන් රජු සමග යුදමය පියවරකට කටයුතු නොකලේය.
විජය රාජසිංහ රජුගෙන් පසුව ඔහුගේ බිරිදගේ සොහොයුරු කීර්ති ශ්‍රී රාජසිංහ කුමරු රජ විය. මෙකල පහතරට කුරුදු තලන්නන් රජුට එරෙහිව කැරලි ගැසූහ. මෙය ලන්දේසීන්ට ඉමහත් කරදරයක් විය. මෙම කැරලි සදහා උඩරටින් අනුබලය ලැබුණි.
මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් උඩරට රජු ලන්දේසීන්ගේ හංවැල්ල බලකොටුව අල්ලා ගත් අතර ගාල්ල හා මාතර බලකොටු විනාශ කර දැමීය.
1762 දී ජෝන් ෆයිබස් නම් ඉංග්‍රීසි ජාතිකයා ලංකාවට පැමිණීම හේතුවෙන් ලන්දේසීන් හා උඩරට අතර ගැටුම් වැඩි විය. ලන්දේසීහු බැරන් ෆන් එක් ආණ්ඩුකාරයා යටතේ පුත්තලම හා කල්පිටිය වරායන් අල්ලාගෙන මාතර තාරකා කොටුවද ඉදි කොට උඩරට ආක්‍රමණය කලේය.රජු පහසුවෙන් ආක්‍රමණය වැලකූ අතර රදල සහාය ලන්දේසීන්ට ලැබීම නිසා රජු පලා ගියේය. මෙයින් පසු ලන්දේසීන් රජු සමග ගිවිසුමකට එලඹුණේය. නමුත් රජු එම ගිවිසුමේ ප්‍රතිපත්තිවලට එරෙහි විය. ඒ නිසා ලංදේසීන් රජු සමග යුද වැදුණේය. ප්‍රති ප්‍රහාර දුන් රජු ලන්දේසීන් අන්ත පරාජයට පත් කලේය.
මේ කාලයේ නායක්කර් වංශිකයන් කෙරෙහි උඩරට වැසියන් හා භික්ෂූන් වහන්සේලා කල කිරී සිටියහ. මේ නිසා රජු ලන්දේසීන් සමග වහා ගිවිසුමකට එලඹුණේය.

පෘතුග්‍රීසීන් ලංකාවෙන් පලවා හැරීම

1638 ගිවිසුම අනුව පෘතුග්‍රීසීන් ලංකාවෙන් පලවා හැරීමට ලන්දේසීහූ පියවර ගත්හ. ඒ අනුව ඔවුන් පිලිවෙලින් මඩකලපුව,ත්‍රිකුණාමලය,මීගමුව,ගාල්ල,කළුතර,අගුරුවාතොට,කොළඹ හා යාපනය යන පෘතුග්‍රීසීහු බලකොටුවලට පහරදී ඔවුන් 1658 වන විට මෙරටින් එලවා දැමීය.
නමුත් එම බලකොටු උඩරට රජුට ලබා දීමට ඔවුහු කටයුතු නොකලහ. මේ නිසා දෙවැනි රාජසිංහ රජු හා ලන්දේසීන් අතර මතභේද ඇති විය.
උඩරට රජු කල්පිටිය හා මීගමු වරායන් ඔස්සේ ඉන්දියාව සමග ගණුදෙනු කිරීමත් ලන්දේසී ප්‍රදේශවලින් උඩරටට පල්ල ගිය කතෝලික වැසියන්ට රජු රැකවරණය දීමත් නිසා ලන්දේසීන් රජු කෙරෙහි තවත් අමනාප විය. මේ නිසා ඔවුහු උඩරට ප්‍රදේශ කිහිපයක් අල්ලාගත්තත් පසුව ඒවා තමන් සතු කර ගැනීමට දෙවන රාජසිංහ රජු සමත් විය.
ලන්දේසීන්ගේ අරමුණ වූයේ අඩු පිරිවැයකින් වැඩි ලාභයක් ලබා ගැනීමයි. මේ නිසා ඔවුන්ට නැවත රජු සමග ගැටුම් ඇති කර නොගන්නා ලෙස බතාවියෙන් උපදෙස් ලැබුණි. එම නිසා මින් පසු ඔවුන් රජු සමග මිත්‍රශීලීව කටයුතු කිරීමට පියවර ගත්තේය.
රාජසිංහ රජුගෙන් පසු ඔහු පුත් දෙවන විමලධර්මසූරිය රජු රජ විය.ඔහු භික්ෂූන් වහන්සේලා සමීපයේ වැඩුණු ධාර්මික පාලකයකු විය. හෙතෙම ලන්දේසීන් සමග ඉතා මිත්‍රශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කලේය. නමුත් 1688 දී ලන්දේසීන් ඉදිරිපත් කල ගිවිසුම රජු දැඩිව ප්‍රතික්ෂේප කලේය.

ලන්දේසීන්ගේ ලංකා ආගමනය

පෘතුග්‍රීසීන් මෙන්ම ලන්දේසීන්ගේද අරමුණ වූයේ වෙළදාමෙන් ලාභ ලබා ගැනීමයි. ඒ අනුව ඔවුහු ඉන්දුනීසියාව,ඉන්දියාව,මලයාසියාව වැනි රටවලින් ගම්මිරිස්,සාදික්කා,කුරුදු,එනසාල්,කරාබු නැටි වැනි කුළු බඩුද මුතු,මැණික්,ඇත් දල,පිගන් බඩු හා සේද රෙදි වැනි භාණ්ඩද පෙරදිගින් ලබාගෙන විකුණා ලාභ ලැබූහ.
මෙකල ඉස්තරම් කුරුදු ඇති රාජ්‍යයක් ලෙස ලංකාව ප්‍රසිද්ධව තිබුණි.ඒ නිසා ලන්දේසීහු තම අවධානය ලංකාව දෙසට යොමු කළහ.
උඩරට රජකල පළමුවන විමලධර්මසූරිය රජුගේ එකම අභිප්‍රාය වූයේ පෘතුග්‍රීසීන් මෙරටින් පලවා හැරීමයි. ඒ අනුව එතුමා ඊට ලන්දේසීන්ගෙන් සහාය පැතීය. ඒ අනුව ක්‍රි.ව 1602 දී ලන්දේසී කපිතාන් ජොරිස් ෆන් ස්පිල්බර්ජන්ද පසුව සී.බෝල්ට්ද චාර්ට් යන ලන්දේසී ජාතිකයාද රජු සමග සාකච්ඡා පවත්වා ඇත.
මින් පසුව පෘතුග්‍රීසීන් පලවා හැරීම සදහා දෙවැනි රාජසිංහ රජු 1638 දී ලන්දේසීන් සමග ගිවිසුමක් ඇති කර ගත්තේය.