ශ්‍රී මහා බෝධියත් රුවන්වැලි සෑයත් අතර නැගෙනහිර
දෙසට වන්නට ලෝවාමහාපායේ නටඹුන් පිහිටා ඇත. මෙහි එක් පේලියකට ගල් කණු 40 බැගින්
පේළි 40ක ගල්කණු 1600 ඇත. ලෝවාමාහාපාය යනු එකල මහා විහාරයේ පෝය ගෙය යැයි කියැවේ.
දෙවනපෑතිස් රජතුමා විසින් භික්ෂූන් වහන්සේලාට
අඩමසකට වරක් පාතිමෝක්ඛය කියැවීම සදහා පෝය ගෙයක් ඉදිකළ අතර දුටුගැමුණු රජතුමා(ක්‍රි.පූ
161 -137) එය නව මහල් කරවා තඹ ලෝහ උළු සෙවිලි කරවීය. මෙහි එක් එක් මහලේ කූටාගාර
සියය බැගින් විය. එකළ අනුරාධපුරයෙන් නව යොදුන් දුර කසාතොට අසල දිඹුලාගල සිටිනවුන්ට
ද බටහිරින් මුහුදේ යොදුනක් දුර සිටිනවුන් හටද ලෝවාමහාපාය දිස්වූ බව මහාවංශ ටීකාවේ
සදහන් වේ.
සද්ධාතිස්ස රජ දවස (ක්‍රි.පූ 137 -119) පහනක්
පෙරලී මෙය ගිනිගැනීම හේතුවෙන් මහල් 7ක් කොට සෑදීය. දෙවන සිරිනාත කාලයේ (246-247) ද
ගිනිගැනීම හේතුවෙන් පස් මහල් කොට සාදා ඇත. මහසෙන් රජ දවසද මෙයට හානිවීම හේතුවෙන්
කිත්සිරිමෙවන් රජ (301-328) මෙය පිළිසකර කිරීමකට ලක්කර ඇත. මෙසේ දිගින් දිගටම
පිළිසකර කිරීම් සිදුවී ඇති අතර අවසන් වරට 12 වැනි සියවසේ මහපැරකුම්බා රජු විසින්
අද දක්නට ඇති නටඹුන් ප්‍රතිසංස්කරණය කර ඇත. මහා විහාරයේ භාණ්ඩාගාරය ලෝවාමහාපායේ
පහත මාලයේ තිබූ බවට රුවන්වැලි සෑ මළුවෙන් හමුවූ ශිලා ලිපියක සදහන්ව තිබූ බව
කියැවේ.
(උපුටා ගැනීම දේශීය වෛද්‍ය උඩුදුම්බර කීර්ති
බණ්ඩාර)